Tuesday, January 12, 2016

රනිල බෝගවල අස්‌වැන්න වැඩි කරන ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ජෛව පොහොර

ලෝකයේ හෙක්‌ටයාරයකට වැඩි ම කෘෂි රසායනික යොදන රට වන ශ්‍රී ලංකාව ලොව 8 වැනියට හෙක්‌ටයාරයකට වැඩි ම රසායනික පොහොර යොදන රටයි. මෙසේ ඉවක්‌ බවක්‌ නොමැති ව කෘෂි රසායනික සහ පොහොර යෙදීම නිසා ශ්‍රී ලංකාවේ ශාක, සත්ත්ව සහ මිනිස්‌ ප්‍රජාව මුහුණ දෙන ගැටලු අලුතින් විස්‌තර කිරීමට වුවමනා නැත. සෞඛ්‍යයට තර්ජනයක්‌ වන රෝග, පස නිසරු වීම, ශාක ජෛව විවිධත්වය විනාශ වීම සහ පානීය ජල මූලාශ්‍ර අපිරිසිදු වීම ඉන් ප්‍රධාන ය. එම නිසා වර්තමාන කෘෂි පර්යේෂණ අංශයේ ප්‍රධාන අවධානයක්‌ යොමු වූ මාතෘකාවක්‌ බවට පරිසර සහ මිනිස්‌ හිතකාමී ජෛව පොහොර වර්ග නිපදවීම පත් වී ඇත.

මෙවන් යුගයක රනිල භෝගවල අස්‌වැන්න සැලකිය යුතු මට්‌ටමකින් වැඩි කළ හැකි රයිසෝබියා ආමූකුලක (Rhizobium Inocullant) හෙවත් "රනිලසාර" නම් පරිසර හිතකාමී ජෛව පොහොර වර්ගයක්‌ සාර්ථක ව අත්හදා බැලීමට ජාතික මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය එස්‌. ඒ. කුලසූරිය මහතා සහ ඔහු ගේ පර්යේෂණ කණ්‌aඩායම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සමත් ව සිටී.

රයිසෝබියා යනු රනිල කුලයේ ශාකවල මූල ගැටිති සාදන පාංශු ක්‌ෂුද්‍රජීවීන් කාණ්‌ඩයකි. මේ රයිසෝබියා විසින් වායු ගෝලයේ ඇති නයිට්‍රජන් රනිල ශාකවලට තිර කර දේ. සෝයා, මුං, කව්පි, රටකජු සහ පරිප්පු වාණිජමය වටිනාකමක්‌ සහිත රනිල කුලයේ ශාක ය. තව ද උදුපියලිය, Alfalfa, Centrosema, Pueraria, Calopogonium සහ Stylosanthus වැනි ශාක පශු සම්පත් කර්මාන්තයේ බහුල ව ශාක ආහාර ලෙස භාවිත කරන රනිල කුලයේ ශාක විශේෂ වේ. මෙවැනි වාණිජමය වටිනාකමක්‌ සහිත රනිල කුලයේ ශාකවලට කාර්යක්‌ෂම රයිසෝබියා ආමුකුලකයක්‌ (රනිල සාර) නිපදවුව හොත් රනිල ශාකවලට වායුගෝලයේ ඇති නයිට්‍රජන් ම`ගින් තම නයිට්‍රජන් අවශ්‍යතාව සපුරාගත හැකි වන නිසා රනිල භෝගවලට කෘත්‍රිම නයිට්‍රජන් පොහොර යෙදීම අඩු කරගත හැකි වේ. මේ අභියෝගය භාරගත් මහාචාර්ය එස්‌. ඒ. කුලසූරිය මහතා සහ ඔහු ගේ පර්යේෂණ කණ්‌ඩායම විසින්, මුල් කාලයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ එම පර්යේෂණ සිදු කර පසුව එම පර්යේෂණ ව්‍යාපෘතිය වඩා පහසුකම් සහිත ජාතික මූලික අධ්‍යයන ආයතනයට වර්ෂ 2011 දී රැගෙන එන ලදි.

වර්තමානයේ දී මේ ව්‍යාපෘතිය ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සහයෝගී සහ උපදේශන අංශය යටතේ ක්‍රියාත්මක වන අතර වාණිජමය වටිනාකමක්‌ සහිත විවිධ රනිල කුලයේ භෝග සහ තණකොළ වර්ග සඳහා නිර්මාණය කරන ලද රයිසෝබියා ආමූකුලක නැත හොත් රනිල සාර විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නො වන සංවිධානවල සහයෝගය සහිත ව ක්‍ෂෙත්‍ර පර්යේෂණවලට ලක්‌ කර ඇත.

සෝයා වගාව සඳහා නිර්මාණය කරන ලද රනිල සාර මේ පර්යේෂණවල ඉතා සාර්ථක ජෛව පොහොරකි. එය ලොව ප්‍රථම කොහු බත් මිශ්‍ර රයිසෝබියා ආමූකුලකය ලෙස ඉතිහාසගත වී ඇත. මේ රනිල සාර වසර කිහිපයක්‌ ම ක්‍ෂෙත්‍ර පරීක්‌ෂණවලට ලක්‌ කර ඇති අතර එහි ප්‍රතිඵල අපේක්‌ෂිත ප්‍රතිඵල වලට වඩා ඉහළ විය. නයිට්‍රජන් පොහොර වෙනුවට රනිල සාර යෙදූ සෝයා වගාව ඉතා සාර්ථක වූ අතර සෝයා අස්‌වැන්න 10%කින් පමණ ද වැඩි වී තිබිණි. අද වන විට අක්‌කර 10,000ට අධික සෝයා වගාවක්‌ මේ ජෛව පොහොර යොදමින් රසායනික නයිට්‍රජන් පොහොර රහිත ව සාර්ථක ව වගා කරනු ලැබේ.

පිටරටින් ආනයනය කරන ලද රතු සහ සුදු උදුපියලිය ශ්‍රී ලංකාවේ කිරි ගොවිපළවල හරකුන්ට පෝෂ්‍යදායි ආහාරයක්‌ ලෙස වගා කරනු ලැබේ. මේ තෘණ වගාව සඳහා විශාල වශයෙන් යූරියා පොහොර එකතු කරන අතර එම`ගින් පශු සම්පත් අංශයේ නිෂ්පාදන වියදම වැඩි වේ. එම`ගින් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයෙන් ආරම්භ වන ප්‍රධාන ගංගාවල පිරිසිදු පෝෂක ප්‍රදේශ ද (watersheds) විනාශ වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට තෘණ බිම්වල වගා කරන රනිල ශාකවල නයිට්‍රජන් තිර කිරීම අධ්‍යයනය කළ මහාචාර්ය එස්‌. ඒ. කුලසූරිය මහතා සහ ඔහු ගේ පර්යේෂණ කණ්‌ඩායම විසින් ලංකාවේ විශාලතම කිරි ගව පට්‌ටියක්‌ වන අඹේවෙල ගොවිපොළ තුළ රයිසෝබියා ආමූකුලක ක්‍ෂෙත්‍ර පරීක්‌ෂාවන්ට ලක්‌ කරන ලදි. සති 15 සම්පූර්ණ වූ තෘණ බිම්වලින් ලබාගත් දත්ත අනුව රසිසෝබියා ආමූකුලක භාවිතය ම`ගින් නයිට්‍රජන් පොහොර භාවිතය සම්පූර්ණයෙන් ම නතර කිරීමට පමණක්‌ නො ව වෙනදාට වඩා වැඩි අස්‌වැන්නක්‌ ද ලබාගැනීමට ද හැකි වී ඇත. පර්යේෂණ කණ්‌ඩායම තවදුරටත් මේ අමූකුලකය අඹේවෙල ගොවිපොළ තුළ ක්‍ෂෙත්‍ර පරීක්‌ෂාවන්ට ලක්‌ කරන අතර එහි ප්‍රතිඵල සාර්ථක වෙමින් පවතියි.

පර්යේෂණ කණ්‌ඩායමේ මීළඟ ඉලක්‌කය වන්නේ දැනට නිපදවා ඇති සෝයා රනිල සාරවල කාර්යක්‌ෂමතාව වැඩි කිරීම සහ මුං, කවුපි, රටකජු, සහ උඳු සඳහා නව රනිල සාර නිපදවීමයි. දැනට වසර ගණනාවක ක්‍ෂෙත්‍ර පරීක්‌ෂාවන් සාර්ථක වූ රයිසෝබියා ආමූකුලක නැත හොත් රනිල සාර වාණිජමය මට්‌ටමින් නිපදවීම ජාතික මූලික අධ්‍යයන ආයතනය විසින් ආයතනයේ අයිතිය සුරකිමින් පෞද්ගලික ආයතනයකට පිරිනමනු ලැබ ඇත. මෙවැනි අතිශය සාර්ථකත්වයට පත් පරිසර හිතකාමී දේශීය ජෛව පොහොර ප්‍රචලිත කර, ගොවීන් එම පොහොර භාවිතයට උනන්දු කරවීම සහ අවශ්‍ය පහසුකම් සැලසීම රජයේ වගකීමකි. එම`ගින් රසායනික පොහොර නිසා පීඩා විඳින පරිසරය මෙන්ම මිනිසුන් ගේ ද අනාගතය සුරක්‌ෂිත වන අතර ශ්‍රී ලාංකීය පර්යේෂකයන් මෙවැනි ජාතික වැදගත්කමකින් යුත් පර්යේෂණවල නියෑළීම ධෛර්යවත් කිරීම ද සිදු වේ.

(මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ බාහිර පර්යේෂණ මහාචාර්ය සහ සහයෝගී හා උපදේශන අංශයේ සම්බන්ධීකාරක මහාචාර්ය එස්‌. ඒ. කුලසූරිය මහතා සමග සාකච්ඡා කර සැකසූ ලිපියකි).

ප්‍රදීප් පියතිලක

සන්නිවේදන සහ මාධ්‍ය නිලධාරී

විද්‍යා අධ්‍යාපන සහ ව්‍යාපෘති ඒකකය

ජාතික මූලික අධ්‍යයන ආයතනය

මහනුවර

No comments:

Post a Comment