Wednesday, March 23, 2016

වස්ගමුව

එදා ඉතා කාර්ක්‍ෂම ලෙස ක‍්‍රියාත්මක වූ වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව කෙරෙහි විශ්වාසය තැබූ රජය එම රක්‍ෂිත ප‍්‍රදේශ සියල්ල මතු පරපුර වෙනුවෙන්
විශ‍්‍රාමික වනජීවි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සහ වනජීවි සංරක්ක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මහවැලි කලාපයේ හිටපු සහකාර අධ්‍යක්‍ෂ
එඞ්මන්ඞ් විල්සන්
ආරක්‍ෂා කරදීම උදෙසා මෙම දෙපාර්තමේන්තුවට පවරා දීම විශේෂ සිද්ධියක් හැටියට මම දකිමි. වස්ගමුව, මාදුරුඔය, ජලගැලූම් නිම්න, සෝමාවතිය, මින්නේරිය, කවුඩුල්ල, ත‍්‍රිකෝණමඩු ජාතික උද්‍යාන සහ මින්නේරිය, ගිරිතලේ ස්වභාව රක්‍ෂිතය එම රක්‍ෂිත ප‍්‍රදේශයි. ඒවා එකිනෙකට යාව සම්බන්ධ වීම හේතුවෙන් සංක‍්‍රමණික ජිවන රටාවකට හුරු වී ඇති වන අලින් ප‍්‍රදේශය තුළ සිත් සේ සැරිසරති. එදා දවසේ ‘‘සරණක් සොයා සැරිසරන්නෝ’’ ලෙසින් පීඩාවකට ලක්වෙමින් විසූ අලි ගහණය අද දවසේ එම රක්‍ෂිත භූමි යාබද ගම්මානවලට තර්ජනයක් වන තරමටම ව්‍යාප්ත වී තිබේ.


සංස්කෘතික දායාදය
මෙම ප‍්‍රදේශයේ පෙර රජ දවසේ මිනිස් ජනාවාස පැවති බවට සාක්‍ෂි පවතී. 12 වැනි සියවසේ පරාක‍්‍රමබාහු රජතුමා විසින් ඉදිකරවන ලද ‘කාලිංග’ ඇළද ඊට අමතරව මාලගමුව, විල්මිටිය, දාස්තොට, වස්ගමුව වැව්වල නෂ්ඨාවශේෂයන් මෙහි අතීත සෞභාග්‍ය විදහා දක්වයි.
අඹන්ඟග මහවැලි ගඟට සම්බන්ධ වන ස්ථානයට නුදුරුව ‘දාස්තොට’ වැව පිහිටා තිබේ. ඊට පහළින් මහවැලි ඟග මැද දුපතක් පිහිටි ස්ථානයකින් ‘කාලිංග’ ඇළ ඇරඹේ. මෙම ස්ථානය එකල කාලිංග නගරය ලෙස හඳුන්වා තිබේ. ඇළේ නටබුන් අඛණ්ඩ ලෙසකින් දක්නට තිබෙන අතර ඇතැම් ස්ථාන කුඹුරු බවට පරිවර්තනය වී තිබේ.
අතීතයේ කාලිංග ඇළ මගින් ත‍්‍රිකුණාමලය අසල ඇති ‘අල්ලෙයි’ වැවට ජලය ගෙන ගිය බව විශ්වාස කෙරේ.
ඓතිහාසික වශයෙන් තවත් වැදගත් ස්ථානයක් වස්ගමුව උද්‍යානය තුළ පිහිටා ඇත. ඒ මහජනයාට පහසුවෙන් යා හැකි යුදඟනා පිටියයි. ඒ දුටුගැමුණු සහ සද්ධාතිස්ස ද්වන්ද යුද සටනක යෙදුනු ස්ථානයයි. එදා සද්ධාතිස්ස රජුට පැරදී පලාගොස් බත්මුල ලිහා අනුභව කළ ‘කදුරු තොටද’ ඒ අසලය. දෙබෑයන්ගේ බිහිසුණු සටන නිසා ශාසන උද්දීපන කටයුතුවලට බාධාවක් වේ දෝයයි හටගත් බිය නිසා එදා රහතුන් මවා පෑයෙයි කියන ‘රහතන් කන්ද’ දකුණින් පිහිටා ඇති බව පැරණි ගම්වාසින්ගෙන් මම දැනගත් දෙයකි.
අඹන් ඟග - කළු ගඟට සම්බන්ධ වන සන්ධියට නුදුරුව එනම් උද්‍යානයේ ඊසාන දිග කොටසේ දක්නට ලැබෙන බුදුරුව යාව ආසන්නයේ අඹන්ඟගට පිටතින් සහ උද්‍යානය තුළ සැතපෙන බුදු පිළිම දෙකක් සහ පැරණි ගල්කණු දකින්නට ලැබේ. ඒවා අවුරුදු 1800 ට ඈත ඉතිහාසයක් කියා පාන්නේය.


ශාඛ ප‍්‍රජාව
මෑත කාලයේ සිදු කරන ලද ගවේෂණ සියල්ලෙන්ම හෙළිදරව් වී තිබෙනුයේ වස්ගමුව ඉතා ඉහළ ජෛව විවිධත්වයක් පවතින ප‍්‍රදේශයක් බවය. පසෙහි පවතින සාරවත් භාවය හා විවිධත්වය, උද්‍යානය හතරවටින් ගලායන මහවැලි ඟග, අඹන්ඟග, කළුගඟ, දුනුවිල ඔය ඇතුළු පුරාණයේ සිට පැවති විශාල වැව්වල ආභාශය එම විවිධත්වයට පදනම් වී තිබේ. රතු හා දුඹුරු පස මැටි සහ වැලි මිශ‍්‍රිත (Loam) පස, ගංගා ආශි‍්‍රත ඇලූවියල් (alluviums) පස විවිධත්වයෙන් යුත් පරිසර පද්ධති ඇතුළු ශාඛ ප‍්‍රජාවන් බිහිකොට තිබේ.
රක්‍ෂිත ප‍්‍රදේශ කළමණාකරණ හා වන ජීවි සංරක්‍ෂණ ව්‍යාපෘති (Protected Area Management and Wildlife Consevration Project) මගින් සිදු කරන ලද ගවේශණ වලදී සමස්ත ශාඛ ප‍්‍රජාව පහත පරිදි බව නිරීක්‍ෂණය කොට තිබේ.
වියළි මිශ‍්‍රිත සදාහරිත වනාන්තරය    - 41.2%
ගංගාධාර වනාන්තර (riverineforest)    - 24%
කටුපඳුරු Scrub    -  10.4%
තණ බිම්     - 11.2%
ගල් සහිත ප‍්‍රදේශය    - 13.2%


ගස් විශේෂ හැටියට
දැවමය වටිනා කමින් යුත් පලූ, බුරුත, කළුවර, කුඹුක්, මිල්ල, මී, ගොඩකිරල, හල්මිල්ල, නෙරලූ, වීර, වෙලන්, පානක්ක, යකඩමරන්, දවුල් ගස් නිතර දැකිය හැකිය. වටිනා ඖෂධීය අතිඋඩයන්, බිං කොහොඹ වැනි පැලෑටිද, ඉලූක්, පොහොන් තෘණ ශාඛද ඊට අමතරව නෙලූ පැලෑටිද උද්‍යානය තුළදී හමුවේ.


වන සතුන්
බොහොමයක් දෙනා ජාතික උද්‍යානයකට පිවිසෙන්නේ අලින්, ගෝනුන්, මුවන් ආදී විශාල ක්‍ෂීරපායි සතුන් දැක බලාගැනීමේ අපේක්‍ෂාවෙන්ය. සමහර විදේශිකයන්ගේ අපේක්‍ෂාව කටුස්සන් තලගොයින් වවුලන් දැක බලා ගැනීමය. විද්‍යාත්මක ගවේෂණය කළ කාන්තාවන් කණ්ඩායමකගේ මීට ඉහතදී වස්ගමුවට පැමිණියේ වලසුන් ගැන නිරීක්‍ෂණය කිරීමටය. වන අලින්ගේ සංක‍්‍රමණික රටාව හදාරන ලද විශ්ව විද්‍යාල කණ්ඩායමකගේ අපේක්‍ෂාව දිවාxරාත‍්‍රී අලි යන - එන තැන ගන්නා ආහාර ගැන සොයා බැලීමයි.
මේ සියලූදෙනාට වස්ගමුව උද්‍යානය තෝතැන්නකි. මෙම උද්‍යානය වාසභූමි කරගෙන ක්‍ෂීරපායි සත්ව විශේෂ 23, පක්‍ෂි විශේෂ 143 (විශේෂ 05ක් ලංකාවට ආවේණිකය) උරග විශේෂ 35 (විශේෂ 07ක් ආවේණිකය)  උභය ජීවින් (amphibians) විශේෂ 15, මාලූ විශේෂ 17, සමනළ විශේෂ 52 වෙසෙති. අලි ගහණය 150 බව ගණන් බලා තිබේ.උද්‍යානයේ වෙසෙන සත්ව විශේෂ වශයෙන් සලකන කළ දිවියා, වලසා, හිවලා (Canis aureus) , කුලූ හරකා, මහ වඳුරා, රිලවා, උහපුලූවා, වල් ඌරා, තිත් මුවා, ගෝනා, හාවා, හඳුන්දිවියා, වල්බළලා, වැලි මුවා (Barking deer) දිය බල්ලා, හඳුන් දිවියා, කිඹුලා, තලගොයා, පිඹුරා, හිකනලා හඳුනාගෙන තිබේ.
පක්‍ෂීන් අතුරෙන් විශේෂ වශයෙන් සඳහන් කළයුත්තේ ශ්‍රී ලාංකීය ට්‍රෝගන් නොහෙත් ලෝහවන්නිච්චා (Trogon), මහ කවුඩා (Racket  Tailed Drongo) ශ්‍රී ලංකා රන් මූණන් කොට්ටෝරුවා (Sri Lanka Yellow Fronted Barbet,  ශ්‍රී ලංකා වලි කුකුලා (Jungle Fowl) ශ්‍රී ලංකා හබන් කුකුලා (Sri Lanka Spurfowl),   පාදිලWhite Necked Stork හීන් බහුරු මානාවා (Lasser Adjutant) , ශ්‍රී ලංකා වතරතු මල් කොහා (Sri Lanka Red Faced Malkoha) යන පක්‍ෂීන්ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවට ආවේණිකය.


කාලගුණය
මෙම උද්‍යානය වියළි කලාපයේ පිහිිටා ඇති බැවින් වසරේ ඔක්තෝබර් සිට පෙබරවාරි දක්වා ඊසාන දිග මෝසම් වැසි ලැබෙන කාලයයි. දෙසැම්බර් මාසයේදී මහවැසි පවතින බැවින් උද්‍යාන සංචාරය සඳහා රෝද 4 ක‍්‍රියාකරන ජීප් හෝ කැබ් රථයක් යොදාගැනීම සුදුසුය. මාර්තු සිට මැයි දක්වා අන්තර් මෝසම් කාලයයි. ජුනි සිට සැප්තැම්බර් වියළි සමය වන අතර සංචාරය සඳහා සුදුසුම කාලයයි. ඒ වන විට මහවැලි ගගේ ජල මට්ටම පහළට බසින බැවින් අමුත්තන් කුඩා ළමුන් සමඟ ගෙඟ් දිය නෑමට යති. උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් 27 පමණය. වාර්ෂික වර්ෂාපතනය මිමි 1750 පමණ වේ.

සංචාරකයින්ට පහසුකම්
දිනපතා පෙ.ව 6.00 සිට ප.ව 6.00 දක්වා මෙම උද්‍යානය විවෘතව පවතී. උද්‍යානයට ඇතුළ්වීම සඳහා නියමිත ගාස්තු ගෙවා උද්‍යානයට පිවිසෙන ස්ථානය වන කදුරුපිටිය උද්‍යාන භාරකරුගේ කාර්යාලයෙන් බලපත‍්‍ර සහ මගපෙන්වන්නෙකු ලබාගත යුතුවේ.
පවතින කාලගුණ තත්්ත්වය සහ පැමිණි වාහනය සැලකිල්ලට ගෙන අවශ්‍ය නම් ඇතුළ්වන ගේට්ටුවට නුදුරින් නවතා තිබෙන පෞද්ගලික ජිප් රථයක් කුලියට ලබාගත හැකිය. (වස්ගමුව උද්‍යාන කාර්යාලයේ දුරකථන අංකය - 0663669046 වේ). මාර්ග පද්ධතිය කි.මී හැටක් පමණවේ. අමුත්තන්ගේ නවාතැන් සඳහා කඳුරුපිටිය, මහවැලි ඟග අසබඩ, වවුල් එබේ, අංගමැඩිල්ල නමින් බංගලා 4බ ක් උද්‍යානය තුළ පිහිටා ඇත. ඒවා වෙන්කර ගත හැක්කේ බත්තරමුල්ල වනජීවි සංරක්‍ෂණ ප‍්‍රධාන කාර්යාලය හරහාය - දුරකථනය -  0112888585.
එළිමහනේ කූඩාරම් ඉදිකරගෙන උපරිම දින 04 ලැගුම් ගැනීම සඳහා කඳවුරු බිම් හතක් තිබේ. නම් වශයෙන් මහවැලි I මහවැලි II මැදපිටිය I මැදපිටිය II උල්පත් හත, හතරමංහන්දිය සහ වව්ල් - එබේ වෙයි.
එම බිම් බත්තරමුල්ල වනජීවි දෙපාර්තමෙන්තු ප‍්‍රධාන කාර්යාලය හෝ වස්ගමුව උද්‍යාන කාර්යාලය හරහා මුදල් ගෙවා වෙන් කරගත හැකිය. සියලූම භාණ්ඩ අමුත්තන් විසින් රැගෙන යා යුතුවේ. කණ්ඩායමට ලැබෙන මාර්ගෝපදේශක රාත‍්‍රියේදීත් ඔවුන් සමඟ රැඳීසිටිනු ඇත.


වස්ගමුවේ අලි සංක‍්‍රමණය
වස්ගමුව මහවැලි වනජීවි රක්‍ෂිතය භූමි ස්ථාපිත කොට ඇත්තේ වන අලින්ට රිසිසේ සංක‍්‍රමණයවීමට ඉඩසලසා දෙමිනි. මේ අනුව වස්ගමුවේ අලි මහවැලි ගඟ දිගේ පහළට සංක‍්‍රමණය වෙමින් ‘දාස්තොට’ හරහා මහවැලි ගංගාධාර නිම්න ජාතික උද්‍යානය (එනම් පොලොන්නරුව ගල්ලෑල්ල පසුකරමින්) ඒ ඔස්සේ ත‍්‍රිකෝණමඩු සෝමාවතිය ජාතික උද්‍යානයටද එතැන් සිට කන්තලේ දක්වා සංක‍්‍රමණය වෙති. ඔවුන්ගේ පාරම්පරික රටාව අනුව මින්නේරිය හා කවුඩුල්ල දෙසටද සංක‍්‍රමණය වන බව නිරීක්‍ෂණය කොට තිබේ. මේ ගමනේදී ඔවුනට සිදුවන උපද්‍රව එමටය. තම බඩගින්න නිවාගැනීමේදී යාබද කුඹුරකට නොදැන හෝ ගියහොත් ලැබෙන්නේ අමානුෂික වෙඩි පහරකි. ගල්ලෑල්ල (පොලොන්නරුව) සහ මින්නේරියේදී දුම්රිය අනතුරුවලින් වසරකට මිය යන ගණන පහළොවකි.


තර්ජන සහ ආරක්‍ෂක වැඩ පිළිවෙල
වස්ගමුව වනෝද්‍යානයේ සම්පූර්ණ මායිමට පිටතින් පිහිටා ඇත්තේ ජනාවාසය. එබැවින් නිරන්තරයෙන් දැව සොරුන්, මැණික් ගරන්නන්, නිධන් සොරුන්ගෙන් උද්‍යානය ආරක්‍ෂා කර ගැනීමට වනජීවි කාර්ය මණ්ඩලය වෙහෙසති. මේ සඳහා අඹන්ඟග මහවැලි ඟග මායිම් දිගේ වනජීවි බීට්ටු කාර්යාල පිහිටුවා තිබේ. කුමාරඇල්ල, හත්තොට අමුණ, අංගමැඩිල්ල, යක්කුරේ, මීවත්පුර, මහවැලිඟග කාර්ය මණ්ඩලය සහිත එම බීට්ටු හයයි. නීති විරෝධී කි‍්‍රයා සිදුකළ අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීමට යාමේ දි වෙඩිපහරට ලක්ව වනජීවි නිලධාරින් මිය ගිය අවස්ථාද තිබේ.


අංගම්මැඩිල්ල
අංගම්මැඩිල්ල වනාහි උද්‍යානයේ උතුරු මායිම වන අඹන්ඟග වම් ඉවුරේ පිහිටි ඇති පුරාණ ගම්මානයකි. මෙය හේතු කිහිපයක් නිසා වැදගත් වෙයි. ගම්මානයට නුදුරුව උද්‍යානයට අයත් ‘අංගම්මැඩිල්ල’ බංගලාව පිහිටා ඇත. මෙම උද්‍යනය සැලසුම් කරන අවස්ථාවේ ප‍්‍රධාන පිවිසුම ස්ථානගත කිරීමට අදහස් කොට ඇත්තේ ‘‘අංගමැඩිල්ලට’’ යාබදව අඹන් ගඟ හරහා විශාල පාලමක් ඉදිකිරීමෙනි. ඒ සඳහා කාර්යාලය සහ කාර්ය මණ්ඩල නිවාස සංකීර්ණයද ඉදිකෙරිණ. එහෙත් කිනම් හෝ හේතුවකින් පාලම ඉදිකිරීම පස්සට ගිය හේතුවෙන් උද්‍යානයේ සංවර්ධනය විශාල පසුබෑමකට ලක්විය. අදටත් එහි පාලමක් නැත. මේ හේතුවෙන් සීගිරිය, පොළොන්නරුව නැරඹීමට පැමිණෙන අප‍්‍රමාණ වූ දෙස් විදෙස් සංචාරකයින්හට පොලොන්නරුව, අංගමැඩිල්ල හරහා ඉතා කෙටි දුරකින් වස්ගමුව උද්‍යානයට පිවිසීමට තිබූ අවස්ථාව ඔවුනට අහිමි විය. මේ නිසා වස්ගමුව, යාල වනෝද්‍යානය හා සමානවම වන සතුන් නැරඹිය හැකි ස්ථානයක් වූවද ඊට පිවිසෙන්නේ ඉතා අඩු අමුත්තන් සංඛ්‍යාවකි.
2012 වසර තුළ යාල වනෝද්‍යානය නැරඹීමට දේශිය සංචාරකයින් 119822 ද විදේශීිය සංචාරකයින් 194120 පැමිණි අතර වස්ගමුව උද්‍යානය නැරඹීමට පැමිණියේ දේශිය සංචාරකයින් 19810 සහ විදේශීය සංචාරකයින් තුන්සිය හැටක් පමණි. යාල උද්‍යානය සංචාරකයන්ගෙන් ඇතුළ් වීමේ ගාස්තු රුපියල් කෝටි 2012ක් ඉපයූ නමුත් වස්ගමුව උපයා ගත්තේ රුපියල් ලක්‍ෂ තිස් අටක් පමණි. එබැවින් 1985 වසරේ ඉදිකිරීමට නොහැකි වු ඉහත සඳහන් අඹන්ඟගxඅංගම්මැඩිල්ල පාලම ඉදිකිරීම අද දවසේ පාලකයින්ගේ වගකීමක් වී පවතින බව මට හැගේ.


වගකීම
වස්ගමුව ජාතික වනෝද්‍යානය අද දින ජීවත් වන ශ්‍රී ලංකාවාසින්ට පමණක් නොව අපෙන් පසු බිහිවන අනාගත පරම්පරවන්ටද උරුම වස්තුවකි. එම වස්තුව සමඟ බැඳී පවතින ආර්ථික විනෝදාත්මක (Recreational) ස්වභාව සෞන්දර්යාත්මක (Aesthelic) වටිනාකම් හොදින් වටහාගෙන එය අනාගත පරම්පරාවන් වෙනුවෙන් ආරක්‍ෂා කර දීම අද දින ජීවත් වන අප සැමගේ වගකීමකි.

No comments:

Post a Comment